අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය

හැදින්වීම

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  පර්යේෂණ අංශය  සතු ප්‍රධාන කාර්යභාරය වනුවේ  අපනයන  කෘෂි බෝග වල  නිෂ්පාදනය, පලදායිතාවය සහ ගුණාත්මය ඉහල නැංවීමට අවශ්‍ය නව දැනුම සහ තාක්ෂනය උත්පාදනය කිරිම්ට පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.  සියලු පර්යේෂණ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම විෂය පථය ,  අපනයන බෝගය සහ වගා ක්‍රම ආදිය  පදනම් කරගෙන සිදු කෙරෙන අතර ඒ සදහා මාතර , මාතලේ සහ  නාරම්මල.  ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථාන  තුනක් සහ වල්පිට, දැල්පිටිය , නිල්ලඹ සහ කුණ්ඩසාලේ, උප පර්යේෂණ මධ්‍යස්ථාන 04 ක් පිහිටා ඇත. පර්යේෂණ මඟින් ලබාගන්නා නව දැනුම්  සහ තාක්ෂනය දෙපර්තමෙන්තුවේ ව්‍යාප්ති අංශ හරහාත්   අදාළ පර්යේශන.ආයතන හරහාත් සිදු කෙරෙනු ලැබේ.

පර්යේෂණ ස්ථාන සහ පර්යේෂණ අංශ

1. අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය – මාතලේ

මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ ස්ථානය, අපනයන කෘෂිකර්ම  දෙපර්තමෙන්තුවේ මුල්ම ප්‍රධාන පර්යේෂණ ස්ථානය වේ. මේ වනවිට විෂය පථය අනුව පර්යේෂණ අංශ 7 ක් ක්‍රියාත්මක වන අතර ඒ එක් එක් අංශය මඟින් ගම්මිරිස්, කරාඹු, සාදික්කා ,එනසාල් ,ගොරකා. කහ, ඉඟුරු ආදී කුළුබඩු බෝග, කෝපි . කොකෝවා, වැනිලා ආදී පානිය බෝග සහ  හඳුනාගත් වෙනත් වාණිජ බෝග ගණනාවක් පිලිබඳ පර්යේෂණ සිදු කෙරේ.  පර්යේෂණ ස්ථානය සතු ගොවිපල සහ වෙනත් අංශ මගින් ආයතනය මඟින් සිදුකෙරෙන විවිධ අමතර සේවාවන්ට  දායකත්වය සැපයේ. අංශ
  1. 1. ශෂ්‍ය විද්‍යා අංශය
ශෂ්‍ය විද්‍යා අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ විවිධ භෝග කළමනාකරණ පිළිවෙත් මඟින් අපනයන කෘෂිකාර්මික භෝගවල අස්වැන්නේ ප්‍රමාණය හා ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ පැවැත්වීමයි. රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ක්ෂේත්‍රයේ සිටුවීම, භෝග කළමනාකරණය, නිවැරදි අවස්ථාවේ අස්වනු නෙලීම වැනි ශෂ්‍ය විද්‍යා අංශයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ තිරසාර බෝග පාලන ශිල්පීය ක්‍රම හදුන්වා දෙමින් අපනයන කෘෂි භෝග වල ඵලදායිතාව ඉහළ නැංවීම ශෂ්‍ය විද්‍යා අංශයේ මුලික අරමුණ වෙයි . වර්තමානයේ, දේශගුණික විපර්යාස තත්ත්වයන් අපනයන කෘෂි භෝග වල ඵලදායිතාවයට දැඩි ලෙස බලපාන බැවින් මෙම ගැටලුව සඳහා අනුවර්තනය වීමේ උපාය මාර්ග ලෙස, අපනයන කෘෂි භෝග වල දේශගුණික විපර්යාස සඳහා අනුගතවීමේ සහ ඔරොත්තු දීම සඳහා සුදුසු ජලසම්පාදන ක්‍රම සහ පාංශු තෙතමනය සංරක්ෂණ ක්‍රම පිළිබඳ අධ්‍යයනයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මීට අමතරව, මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් කෘෂි කාලගුණික දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු සහ දත්ත ලබාගැනීමේ කටයුතු ද ශෂ්‍ය විද්‍යා අංශය මඟින් සිදු කෙරේ.
  1. 2. කීට විද්‍යා අංශය
අපනයන කෘෂිකර්ම බෝග ‍රැසකට සුලභව හානි කරන කෘමි පළිබෝධකයින් විශාල ප්‍රමාණයක් සිටින අතර, නූතන ගෝලීයකරණ තත්ත්වයන් යටතේ ලෝකයේ වෙනත් කළාපවලට සීමාවී තිබූ පළිබෝධකයින් ශ්‍රී ලංකාව තුළින් ද හමු වීමේ ප්‍රවණතාවක් ඇත. එසේම ගෝලීය පාරිසරික වෙනස්වීම් නිසා කෘමි පළිබෝධකයින්ගේ ගහණයන් සහ ව්‍යාප්තිය ඉහළ යාම, අපනයන කෘෂිකර්ම බෝග සඳහාද සෘජු තර්ජනයක්ව පවතී. ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානයේ කීට විද්‍යා අංශය, මෙම ගෝලීය තර්ජනයන් සඳහා දීර්ඝ කාළීන සහ පරිසර හිතකාමී පළිබෝධ කළමණාකරණ විසඳුම් ලබා දීම සඳහා පර්යේෂණ සිදු කිරීමත්, එම විසඳුම් ගොවි ජනතාව ඇතුළු අනෙකුත් පාර්ශව කරුවන්ට ප්‍රායෝගික යෙදවුම් ලෙස ලබා දීමටත් කැප වී ක්‍රියාකරයි.
  1. 3. ප්‍රවේණි විද්‍යාව හා ශාක අභිජනන අංශය
ප්‍රවේණි සහ ශාක අභිජනන අංශය මඟින් අපනයන කෘෂිබෝග විශේෂ වල ජාන ප්ලාස්ම ගවේෂණය, එකතුකිරීම හා සං‍රක්ෂණය මඟින් බෝග වරණයන් හඳුනා ගැනීම සහ නව ප්‍රබේද වැඩිදියුණු කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරණු ලබයි. මෙම කාර්‍යයන් කාර්‍යක්ෂම ලෙස සිදුකිරීම සඳහා අංශය සතුව පවතින විද්‍යාගාර පහසුකම් සහ මනාපුහුණුවලත් මානව සම්පත දායක වේ. අභිජනන අංශය විසින් දිවයිනේ විවිධ දේශගුණික සහ කෘෂි පාරිසරික කලාපවල ස්ථාපිත කර ඇති පර්යේෂණ ක්ෂේත්‍ර මඟින් ප්‍රභේද වැඩිදියුණු කිරීම, බීජ සංරක්ෂණය සහ ජාතියේ ගොවි ප්‍රජාවට උසස් තත්ත්වයේ අපනයන කෘෂි බෝග වල නව අභිජනන ලබා දීම ඒ අයුරින් සිදුකරණු ලබයි. මෑතකාලීනව අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රවේණි සහ ශාක අභිජනන අංශය විසින් ඩිංගිරාළ, කොහුකුඹුරාළ හා බූටෑවේරාළයන වැඩිදියුණු කළ ගම්මිරිස් දෙමුහුම් ප්‍රභේද තුනක්, උසස් ගුණාත්මයෙන් යුතු ලක් පැරකුම් කෝපි වරණය, වැඩි අස්වනු විභවයක් සහිත මාතලේ සිංහ, මාතලේ රාජා හා මාතලේ චතුර යන පුවක් වරණයන් තුනක් සහ රන්වැලි යසස් ශ්‍රී නමින් කරඳමුංගු ප්‍රභේදයක් අපනයන කෘෂි බෝග ක්ෂේත්‍රයට දායාද කර ඇත.
  1. 4. ශාක ව්‍යාධි විද්‍යාව සහ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය
ශාක ව්‍යාධි විද්‍යා අංශය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ බෝග පාඩු අවම කර ගැනීම සඳහා අපනයන කෘෂිකාර්මික බෝග (අපනයන කෘෂි භෝග) තිරසාර රෝග කළමනාකරණ උපාය මාර්ග කෙරෙහි ය. අපනයන කෘෂිකාර්මික අංශයේ කොටස්කරුවන් සඳහා අපනයන කෘෂි භෝග  හි අවසාන නිෂ්පාදනයේ ක්ෂුද්‍රජීවී දූෂණය හඳුනා ගැනීම සහ ශාක ආරක්ෂණ සේවා සැපයීම සමාන්තර සේවා වේ.
  1. 5. පසු අස්වනු තාක්ෂණ අංශය
අපනයන කෘෂිකාර්මික නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, අපනයන කෘෂි භෝග නිෂ්පාදනවල රසායනය විශ්ලේෂණය, අගය එකතු කළ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම සහ අපනයන කෘෂිකාර්මික භෝගවලින් ආදායම වැඩි කිරීම සඳහා පසු අස්වනු යන්ත්‍රෝපකරණ සහ සැකසුම් තාක්ෂණය සංවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් මෙම අංශය පර්යේෂණ වැඩසටහන් සිදු කරයි. මීට අමතරව ව්‍යවසායකයින් සහ ගොවි මහතුන්ගේ අවශ්‍යතාවය පරිදි අපනයන කෘෂි භෝග ගුණාත්මය පිළිබඳව රසායනික විශ්ලේෂණය සහ විශ්ලේෂණ වාර්තා නිකුත් කිරීම,  අපනයන කෘෂි භෝග අස්වැන්න සකස් කිරීම, අපනයන කෘෂි භෝග අස්වැන්නෙන් ප්‍රාථමික සහ අගය එකතු කරන ලද නිෂ්පාදන කරන ආකරය සහ අස්වැන්න සකස් කිරීම සඳහා යන්ත්‍රෝපකරණ නිර්මාණය කිරීම සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන ආකාරය  පිළිබඳ ව්‍යවසායකයින්, ගොවි මහතුන් සහ සිසුන් දැනුම්වත් කිරීම සහ ඒ සම්බන්ධව  පුහුණු වැඩසටහන් පැවැත්වීමද පසු අස්වනු තාක්ෂණ අංශය මඟින් සිදු කරණු ලැබේ. තවද, International Pepper Community (IPC) , SGS, IDB වැනි ආයතන වල, ප්‍රතීතන සහතික ලබා ඇති විද්‍යාගාර සමඟ අන්තර් රසායනාගාර සංසන්දන (ILC) වැඩසටහන් සඳහා සහභාගි වෙමින්, පසු අස්වනු තාක්ෂණ අංශයේ විද්‍යාගාරය, රසායනික විශ්ලේෂණ  සඳහා ISO 17025 විද්‍යාගාරය ප්‍රතීතන සහතිකය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතී.  
  1. 6. පාංශු විද්‍යා අංශය
පාංශු විද්‍යා අංශය, අපනයන කෘෂි භෝග  වල පාංශු සහ ශාක පෝෂක ආශ්‍රිත ගැටළු විමර්ශනය කිරීම සඳහා 1984 දී පිහිටුවන ලදී. අපනයන කෘෂි භෝග වෙතින් ඉහළ ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා සුදුසු පොහොර නිර්දේශ තෝරා ගැනීමට පර්‍යෙෂණ පැවැත්වීම සහ පොහොර නිර්දේශ හඳුන්වා දීම,  අපනයන කෘෂි භෝග සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම අඳුන්වා දීම, පස් සාම්පල් විශ්ලේශණය සහ විශ්ලේශණ වාර්තා නිකුත් කිරීම යනාදී කාර්‍යයන්මෙම අංශය මඟින් සිදු කරයි . එමෙන්ම අපනයන කෘෂි භෝග වගාවේදී  පස සකස් කිරීම, පොහොර යෙදීම, පාංශු සංරක්ෂණ යනාදිය පිළිබඳව ගොවි මහතුන් සහ සිසුන් දැනුවත් කරමින් පුහුණු වැඩසටහන් පැවැත්වීමද, මෙම අංශය මඟින් සිදු කරණු ලබයි.  
  1. 7. කායික විද්‍යා සහ පැළ නිෂ්පාදන අංශය
  මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයට අනුයුක්තව ඇති කායික විද්‍යා සහ පැළ නිෂ්පාදන අංශය මඟින් අපනයන කෘෂි භෝග වලට අදාළව කායික විද්‍යාත්මක පර්‍යෙෂණ සිදු කරයි. පැළ නිෂ්පාදන වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන්ම උසස් ගුණාත්මයෙන් යුතු ගම්මිරිස් පැළ, බීජ හා බද්ධ ගොරකා පැළ හා සාදික්කා පැළ නිෂ්පාදන සිදු කරයි. තවද, පටක රෝපණ විද්‍යාගාරය මඟින්ද උසස් ගුණාත්මයෙන් යුත් පැළ නිෂ්පාදන කටයුතු මෙන්ම පටක රෝපණ තාක්ෂණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රයෝගික දැනුම ලබා දීම සිදු කරයි. මෙහෙදී ප්‍රධාන වශයෙන් විශ්ව විද්‍යාල සිසුන්, තාක්ෂණික විද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ ව්‍යවසායකයින් සඳහා න්‍යායාත්මක හා ප්‍රයෝගික දැනුම ලබා දීම සිදු කරයි.

 

2. අතුරු වගා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය

අතුරු බෝග සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය 1993 වර්ෂයේදී නාරම්මලදී ස්ථාපිත කරනු ලැබුවේ පොල් වගාව තුළ යටි වගාවක් ලෙස අපනයන කෘෂිකාර්මික බෝග අතුරු වගාව සඳහා වන පුරෝගාමී පර්යේෂණ මධ්‍යස්ථානය ලෙසය.  පර්යේෂණ මධ්‍යස්ථානයේ මෙහෙවර වනුයේ බුලත් වගාවේ ප්‍රවර්ධනය උදෙසා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරිම සහ ක්‍රියාත්මක කිරීම සහ පොල් වගාව යටතේ අපනයන කෘෂිකාර්මික බෝග අතුරු බෝග ලෙස වගා කිරිමේ ශක්‍යතා අධ්‍යයනය කිරිමය. පර්යේෂණ මධ්‍යස්ථානයේ මුළු පරිශ්‍රය අක්කර 64 නික් සමන්විත වන අතර, එයට කාර්යාල සංකීර්ණයක් , පර්යේෂණ භූමි සහ ගොවිපොළ ද ඇතුළත්ය. පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්වලට අමතරව පුහුණු කිරීම් සහ ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි බෝග අංශයේ ප්‍රවර්ධනය උදෙසා අපනයන කෘෂි බෝග වලට අදාල තොරතුරු සැපයිමද ඇතුළත් ව්‍යාප්ති සේවාවන්ද මධ්‍යස්ථානයෙන් සැපයේ.  ප්‍රධාන පර්යේෂණ අංශ
  1. ශාක අභිජනන අංශය
අතුරු වගාවක් ලෙස පොල් සමග බුලත් ඇතුළු අනෙකුත් අපනයන කෘෂි බෝග වගාවේ දී එක් එක් කෘෂි පාරිසරික කලාපයන්ට ගැලපෙන විවිධ වරණ හෝ ප්‍රභේදයන් හදුන්වා දීම සදහා පර්යේෂණ දියත් කිරීම ප්‍රධානතම කාර්යය වේ. 2. ශෂ්‍ය විද්‍යා අංශය පොල් යටතේ අපනයන කෘෂි බෝග නිෂ්පාදනය කිරීම, ස්වභාවික සම්පත් හා කෘෂි යෙදවුම් ඵලදායි ලෙස යොදා ගැනීම, කෘෂිකාර්මික යහපිලිවෙත් හදුනා ගැනීම,  තිරසාර කෘෂි පරිසර පද්ධති බිහි කිරීම, ඉඩම්වල ඵලදායිතාව සහ ලාභදායිතාව ඉහළ නැංවීම පිළිබඳව කෘෂි විද්‍යාත්මක අධ්‍යනයන් සිදු කිරීම, එබදු අධ්‍යනයන් සදහා හවුල් වීම මෙන්ම ඒ සදහා තාක්ෂණික දැනුම හා පුහුණුව ලබා දීම ආදී ක්‍රම මගින්  සහයෝගය ලබා දීම මෙම අංශයේ ප්‍රධාන කාර්යයන් වේ. මෙහිදී කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අපනයනය සදහා සිදු කෙරෙන බුලත් වගාව පිලිබඳ පර්යේෂණ වලට ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත. එසේම පර්යේෂණ ප්‍රථිපලයන් සමාලෝචනය කරමින් අපනයන කෘෂි බෝග වගාව සදහා නිර්දේශ යෝජනා කිරීමටත්, එම තාක්ෂණික නිර්දේශ ව්‍යාප්ත කිරීම සදහා දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති සහ පුහුණු වැඩසටහන් වලට  සහයෝගය ලබා දීමටත් මෙම අංශය කටයුතු කරනු ලැබේ. මෙමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැක්ම සාක්ෂාත් කරගැනීම සදහා ශෂ්‍ය විද්‍යා අංශය සිය දායකත්වය ලබා දේ. 3. ශාක සහ පාංශු රසායන අංශය බුලත්  සහ  අනෙකුත් අපනයන කෘෂි භොග සඳහා පාංශු සහ ශාක පෝෂණයට අදල සියළු පර්යේෂණ කටයුතු සිදු කිරීම මෙම අංශහි ප්‍රධානතම කාර්ය වේ.   4. පසු අසුවනු තාක්ෂණ අංශය ප්‍රධාන වශයෙන් බුලත් සහ අමතර වශයෙන්  අනෙකුත් අපනයන කෘෂිබෝගයන්හි  ගුණාත්මය වර්ධනය, අගය එකතුකළ නිෂ්පාදන සහ පසු අස්වනු තාක්ෂණයට අදාල සියලුම පර්යේෂණ කටයුතු  සිදු කිරීම මෙම අංශයෙහි ප්‍රධාන අරමුණ වේ.   5. පැළෑටි ආරක්ෂණ අංශය

3. වල්පිට පටක රෝපණ විද්‍යාගාරය

1995 වසරේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම පටක රෝපණ විද්‍යාගාරය වල්පිට පැළ තවාන ආශ්‍රිතව ආරම්භ කරන ලදී. අපනයන කෘෂි භෝගයන්හි පටක රෝපණ කටයුතු පිලිබඳ පර්යේෂණාත්මක නව සොයා ගැනීම් සිදු කිරීම, පටක රෝපණය පිලිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ශිෂ්‍යයින් හා ව්‍යවසායකයින් සදහා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සැලසීමත්, අලෙවිය සදහා පටක රෝපිත පැළ නිකුත් කිරීමත් මෙම අංශයේ ප්‍රධාන කාර්යයන් වේ. කහ ඉඟුරු කරඳමුංගු වැනිලා වැනි අපනයන භෝග වල පටක රෝපණ ක්‍රමවේදය මේ වන විට සොයා ගෙන ඇති අතර එමඟින් පැළ නිෂ්පාදනයද සාර්ථකව සිදුකරගෙන යනුලබයි.

4. මැදරට පර්යේෂණ මධ්‍යස්ථානය

දැල්පිටිය

  1978 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම මධ්‍යස්ථානය ආරම්භයේ කුඩා විද්‍යාගාරයක් සහ දේශන ශාලාවකින් යුතු කාර්යාල ගොඩනැගිල්ලක් සහිතව පවත්වාගෙන ගොස් ඇත. එවකට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විශේෂඥයන්ගේ දායකත්වය සහිතව ආරම්භ කරන ලද හෙක්ටරයාර 01 ක විශාලත්වයෙන් යුතු මිශ්‍ර වගා ආදර්ශනය (DELMIX MODEL) මෙම මධ්‍යස්ථානය වෙත ජාතික මෙන්ම ජාත්‍යන්තර අවධානය යොමු කරවීමට හේතු විය. ඇරබිකා සහ රොබස්ටා කෝපි ප්‍රභේද මෙන්ම නයිජීරියානු කොකෝවා ප්‍රභේද එකතුව ද ආරම්භක අවධියේම මෙම පර්යේෂණ මධ්‍යස්ථානය තුල ස්ථාපිත කරනු ලැබ ඇත. එසේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එක්රැස් කරන ලද කුරුඳු ජානප්ලාස්ම එකතුවක් ද මෙම මධ්‍යස්ථාන භූමිය තුල දක්නට ඇත. වසර 2000 දී මෙම පර්යේෂණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම කාබනික වගාව සඳහා වෙන්කරනු ලැබ ඇති අතර දැනට දෙපාර්තමේන්තුව සතු එකම කාබනික පර්යේෂණ ඒකකය වන්නේ ද මෙම මධ්‍යස්ථානයයි. මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල සිට පහසුවෙන් ලඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය පසුකාලිනව කාබනික වගා ආදර්ශන සහිත උද්‍යානයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කරනු ලැබ ඇති අතර ඒ යටතේ මෑත කාලය තුල ගව පාලන ඒකකයක් ද ආරම්භ කරනු ලැබ ඇත. අපනයන බෝගයන්හි වනදර්ශ රැසක එකතුවක් මෙම මධ්‍යස්ථාන භූමියේ වගා කර සංරක්ෂණය කරනු ලබන අතර වාර්ෂිකව ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලයන්හි කෘෂි වන වගාව සම්බන්ධ අධ්‍යයනයන් සිදුකරනු ලබන විද්‍යාර්ථින්ගේ හා සිසුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයනයන් සඳහා ද මෙම මධ්‍යස්ථානය යොදාගනු ලබයි.

1. උප පර්යේෂණ මධ්‍යස්ථානය, නිල්ලඹ

  වාරියගල උප පර්යේෂණ ඒකකය වසා දැමීමෙන් පසුව ඊට ආසන්නයේම පිහිටි භුමිභාගයක මෙම මධ්‍යස්ථානය 1987 වසරේදී ආරම්භ කරන ලදී. 1976 වසරේ සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බීජ ගොවිපලක් වශයෙන් පැවති මෙම භූමිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙතින් පවරා ගැනීමෙන් අනතුරුව ඉතා සීමිත පහසුකම් යටතේ ‍‍‍ෙමම පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබ ඇත. අක්කර 28 ක පමණ භූමි භාගයක් සහිත මෙම භූමිය තුල අපනයන කෘෂි බෝග සම්බන්ධ අනුවර්තිතා පර්යේෂණ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම සිදුකර ඇති අතර ගම්මිරිස්, කුරුඳු සහ කෝපි වගාවන් සම්බන්ධ ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා වැඩි ඉඩකඩක් වෙන්කරනු ලැබ ඇත. පසුකාලීනව රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් පැල තවාන් කටයුතු පුළුල් කරන ලද අතර වර්තමානය වන විට මහනුවර දිස්ත්‍රික්කයේ අපනයන බෝග රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රමුඛ දායකත්වයක් සපයනු ලබයි  

2. උප පර්යේෂණ මධ්‍යස්ථානය කුණ්ඩසාලේ

1978  වසරේදී ආරම්භ  වූ  කුණ්ඩසාල උප පර්යේෂණ මධ්‍යස්ථානය  අපනයන කෘෂි බෝග රැසකට හිතකර පාරිසරක තත්වයක් පවතින මැදරට   අතරමැදි   කෘෂි පාරසරික කලාපය තුල පිහිටා ඇති අතර, අක්කර 16 ක භුමි වපසරියක ව්‍යාප්තව  පවතී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කුණ්ඩසාල පාංශු පරිශීලන ඒකකය තුල මුලින්ම ආරම්භ වූ  මෙම මධ්‍යස්ථානය පසු කලෙක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නා ලදී. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටම මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශය සාර්ථකව පැතුරුණු කොකෝවා වගාවක්  සදහා ප්‍රසිද්ධව  පැවති බැවින් පසුකලෙක කුණ්ඩසාල උප පර්යේෂණ මධ්‍යස්ථානයෙහි   ඉහල අස්වනු විභවයක්  සහිත නයිජිරියානු කොකෝවා  මව් ශාක උද්‍යානයක්   පිහිටුවන ලදී. අපනයන කෘෂිකාර්මික බෝග ප්‍රවර්ධනයෙහිලා   පර්යේෂණ කටයුතු සිදු කිරීම උප පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවාලිමේ මුලික අභිමතාර්ථය වී ඇති අතර ප්‍රධාන වශයෙන් කොකෝවා, ඉඟුරු සහ කහ සම්බන්ධයෙන් විවිධ විෂය ක්ෂේත්‍රයන් තුල පර්යේෂණ සිදු කරයි. මීට අමතරව පර්යේෂණ මධ්‍යස්ථානය මගින්  පවත්වාගන යනු ලබන පැල  තවාන වර්තමානය වන විට  මහනුවර දිස්ත්‍රික්කය තුල අපනයන කෘෂි බෝග ව්‍යාප්තිය සඳහා ප්‍රධාන දායකත්වයක් දරයි.    
  • ආර්ථික පර්යේෂණ අංශය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය ආරම්භ කිරීමට සමගාමීවම  ආරම්භ කර ඇති ආර්ථික පර්යේෂණ අංශය දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුල ස්ථාපිත කර ඇත. අපනයන කෘෂි බෝගයන්හි සමාජ ආර්ථික අංශයන් පිළිබඳ අධ්‍යයන පැවැත්වීම හා ඒ මගින් ගැටලු හඳුනාගෙන ඵලදායි විසඳුම් ලබාදීම මෙම අංශයෙහි මූලික කාර්යභාරය වේ. මිට අමතරව මෙම අංශය මගින් ලබාදෙනු ලබන ප්‍රධානතම සේවාවන් පහත පරිදි වේ.

  • වගා කරනු ලබන දිස්ත්‍රික්ක වලින් අපනයන කෘෂිකාර්මික බෝග වල ගොවිපල මිල ගණන් සතිපතා රැස් කර සාරාංශ ගත කිරීම සහ එම තොරතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිළ වෙබ් අඩවිය වෙත යාවත්කාලීන කිරීම.
  • අපනයන කෘෂිකාර්මික බෝග සම්බන්ධයෙන් අස්වනු පුරෝකතන තොරතුරු රැස්කිරීම හා වාර්තා සකස් කිරීම
  • අපනයන කෘෂි බෝග වගාව සහ අලෙවිකරණය හා සම්බන්ධ විවිධ අංශ පිළිබඳ සංඛ්‍යාන දත්ත රැස් කිරීම සහ පවත්වාගෙන යාම බෙදා හැරීම.
  • දේශීය හා ගෝලීය පරිමාණයෙන් අපනයන කෘෂිකාර්මික බෝග වල වර්තමාන වෙළෙඳපොළ වෙනස්වීම් විශ්ලේෂණය කිරීම සහ වාර්තා කිරීම
  • මහජනතාවගේ සහ වෙනත් රාජ්‍ය ආයතන වල දැනුවත් භාවය සඳහා අපනයන කෘෂි බෝගයන්හි ආර්ථික හා අලෙවිකරණය පිළිබඳ තොරතුරු සැපයීම

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.